ලිංගික අතවරයකදී ඔබ ක්‍රියා කල යුතු ආකාරය

ඔබ හිතන විදියට ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද?

ලිංගික ආශාවන් සන්සිඳවගන්න, තව කෙනෙක්ව අනවශ්‍ය විදිහට අල්ලන එක සහ ලිංගික දේවල් ගැන කියලා කරදර කරන එක වගේ ඕනම ක්‍රියාවක් ලිංගික හිරිහැරවලට අයත් වෙනවා. සමහර අවස්ථාවලදී කෙනෙක් ඔයාට ආල හැඟුම් පානවා. නැත්නම් විහිළුවක් කරනවා. ඒත් ඒක ලිංගික හිරිහැරයක්ද නැද්ද කියලා ඔයාට තේරුම්ගන්න අමාරු ඇති.

පුංචි කාලෙදි විතරක් නෙමෙයි ලොකු වුණාමත් කෙනෙක් ලිංගික හිරිහැරවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවකදී මොකක්ද කරන්න ඕනෙ කියන එක දැන් ඉඳන්ම දැනගන්න එක හොඳයි නේද? එතකොට රස්සාවක් කරන්න ගියා වුණත් කවුරු හරි ලිංගික හිරිහැරයක් කරන්න ආවොත් බය නැතුව ඒකට මූණ දෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම කාමාතුරයෙක්ගෙන් වෙන කෙනෙක්ට කරදරයක් වෙන එක නවත්වන්නත් ඔයාට පුළුවන් වෙයි.

ලිංගික අතවරයක් කියන්නේ මොකක්ද කියල ඔබ දන්නවාද?

එක් එක් රටේ නීතියට අනුව “ලිංගික අතවරය” කියන දේ විස්තර කරන්නේ වෙනස් විදිහටයි. ඒකෙන් බොහෝදුරට අදහස් වෙන්නේ අනුමැතියක් නැතුව බලහත්කාරෙන් සිදු කරන ලිංගික ක්‍රියා වෙන්න පුළුවන්. ඒකට නව යොවුන් වියේ දරුවන්ව, කුඩා දරුවන්ව, තමන්ගේම පවුලේ අයව ලිංගිකව දූෂණය කිරීම, නැත්නම් වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් හෝ පූජකයෙක් වගේ ලොකු විශ්වාසයක් තියන වැඩිහිටියෙක් අතින් දූෂණය වීම වගේ දේවල් ඇතුළත්. ලිංගික අපයෝජනයට ගොදුරු වෙන්නේ ශාරීරිකව හරි මානසිකව හරි වෙන්න පුළුවන්. ගොදුරු කරගන්න අය කාරණය එළි කෙරුවොත් බලාගෙනයි කියලා තර්ජනය කරනවා.

  •            හුඟක් වෙලාවට අතවර කරන්නේ දන්න හඳුනන කෙනෙක්.ලිංගික අතවරවලට ගොදුරු වෙන අයගෙන් තුනෙන් දෙකක්ම තමන්ට අතවර කරපු කෙනාව දන්නවා.
     
  •            ලිංගික අතවර වලට ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම ලක්වෙනවා. 

  •         වරද ලිංගික අතවරවලට ගොදුරු වෙන කෙනාගේ නෙවෙයි. කාගෙන්වත් ලිංගිකව අයුතු ප්‍රයෝජන ගන්න එක සුදුසු දෙයක් නෙවෙයි. ලිංගික අතවර කරන කෙනා තමයි ඔහුගේ ක්‍රියාවලට වග කියන්න ඕනේ. හැබැයි ගොදුරු වෙන කෙනාටත් ලිංගික අතවරයට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ යම් දුරකට වළක්වගන්න පුළුවන්කම තියෙනවා.

ලිංගික අතවර වලින් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් දේ

  •            සූදානම් වෙලා ඉන්න.ඔයාගේ පෙම්වතා හරි නෑදෑයෙක් හරි ලිංගික හැසිරීමකට පොලඹවාගන්න හැදුවොත් කරන්න ඕන මොකක්ද       කියලා කලින්ම හිතලා බලන්න.
  •             මේ ගැන හිතන්න:‘අපහසුවක් දැනෙන විදිහට කවුරු හරි මාව ස්පර්ශ කළොත් මම මොනවද කරන්නේ?’
  •           එතැනින් ඉවත් වෙන්න.“ඒ වගේ අපහසු තත්වයකට මුහුණ දෙද්දී ඒ පුද්ගලයාට නොදැනෙන්න ඔයාට සිද්ධ වෙන දේ ඔයාගේ යාළුවන්ට නැත්නම් පවුලේ කෙනෙක්ට කියන්න වෙනම වචනයක් හරි වචන කීපයක් හරි කලින්ම ලෑස්ති කරලා තියාගන්න. එතකොට ඒ අයට පුළුවන් ඔයාව බේරගන්න.” ඒ වගේ අවදානම් තත්වයන් වළක්වාගත්තොත් වේදනාකාරී අද්දැකීම්වලින් මිදෙන්න පුළුවන්.
  •       “ බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අත්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”

සූදානමින් ඉන්න

  •         සීමාවන් දාලා ස්ථිරව ඉන්න.උදාහරණයකට ඔයා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් මොන වගේ හැසිරීමක් සුදුසුද, නැද්ද කියලා කලින්ම අනිත් කෙනා එක්ක කතා කරන්න. ඒ වගේ සීමාවන් දාගන්න එක මෝඩ වැඩක් කියලා ඒ කෙනා හිතනවා නම් එයා ආශ්‍රයට සුදුසු කෙනෙක් නෙමෙයි කියන එක මතක තියාගන්න. සුදුසු වෙන්නේ සදාචාරය ගැන ඔයා දරන ප්‍රමිතිවලට ගරු කරන කෙනෙක්.
  •            මේ ගැන හිතන්න:‘මගේ සදාචාර ප්‍රතිපත්ති මොනවාද? සුදුසු නැත්තේ මොන වගේ හැසිරීමක්ද?’

වැරැද්ද තමන් පිට පටව ගන්න එපා

ලිංගික අතවරවලට ගොදුරු වන හුඟක් අය තමන්ට සිද්ධ වුණ දේ ගැන ලැජ්ජාවට පත් වෙනවා. ඒකට තමන් වගකියන්න ඕන කියලා තමන්ටම වරද පටවගන්නත් ඉඩ තියෙනවා. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වයක නම් මේ දේවල් ගැන හිතලා බලන්න.

  •            බාල වියේ ඉන්න දරුවන් ලිංගික සම්බන්ධකම්වල බැරෑරුම්කම දන්නේ නැහැ. ඒකට ඔවුන්ගේ මනස සහ ශරීරය සූදානම් වෙලාත් නැහැ. ඒ වයසේදී ලිංගික අතවරයට ගොදුරු වුණොත්, දැන දැනම ඒකට ඉඩ දුන්නා කියලා කියන්න බැහැ. ඒ නිසා අතවරයට ගොදුරු වෙන ළමයින්ගේ අතේ වරදක් නැහැ.

  •             ගොඩක් වෙලාවට වැඩිහිටි අයව විශ්වාස කරන අහිංසක දරුවන් ඒ අයගේ කපටි උපායන්වලට අහු වෙනවා.

  •            දූෂණයට ලක් වෙන අවස්ථාවේදී දරුවෙක් තුළ ලිංගික හැඟීම් පිබිදෙන්න පුළුවන්. කවුරු හරි ඔයාගේ ශරීරය යම් විදිහකට ස්පර්ශ කරද්දී ඉබේම ඒ වගේ හැඟීම් ඇති වෙනවා කියලා මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඔයා ඒ දේට අනුබල දුන්නා කියන එක නෙමෙයි. ඒ නිසා ඔයාටම වරද පටවගන්න එපා.

මේ ගැන විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න

අතවරයට ගොදුරු වුණ සිද්ධිය විශ්වාසවන්ත කෙනෙක්ට කියනවා නම් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන්. සිද්ධ වුණ දේ ගැන කාටවත් නොකියා ඉන්න එක ඇඟට ගුණයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. කියන්න ගියොත් වෙන්නේ තවත් හිත රිදෙන එක විතරයි කියලා හිතලා ඔයා නිහඬ වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට අනිත් අයගෙන් ඔයාව වෙන් කරන තාප්පයක් වගේ. ඒක රහසක් හැටියට තියාගන්න එකෙන් වෙන්නේ ලබාගන්න පුළුවන් උපකාර නැති වෙන එක විතරයි.

නිහඬ වෙන එක හරියට අනිත් අයගෙන් ඔයාව වෙන් කරන තාප්පයක් වගේ. ඒකෙන් වෙන්නේ ලබාගන්න පුළුවන් උපකාර නැති වෙන එක විතරයි

අපට පුළුවන් ඔබට උදව් වෙන්න

ඔබ හෝ ඔබ දන්නා අයෙක් ලිංගික අතවරයන්ට ලක්ව සහනයක් අපේක්ෂාවෙන් ඉන්නවද? ඒ අයට උදව් කරන්න අප සූදානම්...

සහාය සහ උපදෙස් සදහා අප අමතන්න